ආනාපානසති කමටහන

අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේගේ “ආලොකො උදපාදී” ග්‍රන්ථයේ තුන්වෙනි දේශනාව ඇසුරෙන්. සම්පූර්ණ ග්‍රන්ථය ලබාගැනීමට
http://www.mediafire.com/…/cig…/Aloko_Udapadi_with_Cover.pdf

දේශනාව ශ්‍රවනය කිරීමට
http://www.mediafire.com/…/2015-12-30_1_07-40_AM_Sathipatth…

මම දැන් මේ සතිපට්ඨාන සුත්‍රය නිකම්ම කියලා දීලා වැඩක් නැති නිසා, මේකෙන් කෙරෙන කෘත්‍යය ගැනයි මම කියලා දුන්නේ. මේ සුත්‍රයට බාහිර මහා ප්‍රලාපයක් කියෙව්වා නෙවෙයි. මොකද, මේ දුක්ඛ නිරෝධගාමිණි පටිපදාව. දුක කියන්නේ මොකක්ද, සමුදය දුරුවෙන්නේ කොහොමද, නිරෝධය සාක්ෂාත් වෙන්නේ කොහොමද කියන දර්ශනය ඔය ටිකේ තියෙන්නේ. ඔය ටික දැනගත්ත කෙනාටයි මේක තියෙන්නේ. මම දැන් භාවනා කරන හැටි කියලා දෙන්නම්, සතිපට්ඨානය වඩන හැටි. දැන් අපිට ඔය අර්ථය තිබුණා නේ.

■ මේකේ දී සතිපට්ඨානයේ ආනාපාන පබ්බය ගන්න, ආනාපාන පබ්බයේ දී උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්‌ඨපෙත්‌වා කියලා පර්යංකය බැඳගෙන, කොන්ද ඍජුව තබාගන්න කියනවා. බුදුරජාණන්වහන්සේ මේ ඉරියව්ව දේශනා කරන්නේ අනිත් ඉරියව් වල බැරිකම හින්දා නෙවෙයි, අනිත් ඉරියව් ථීනමිද්ධයට, නිදිමත ගතියට හිත වැඩියි. මේ ඉරියව්ව තමයි නිදිමත ගතිය බොහෝ සෙයින්ම අඩුකරන ඉරියව්ව. වර්තමානයේ විද්‍යානුකූලවත් හොයාගෙන තියෙනවා මේ අපේ කොඳුඇටය පේළිය මැදින් තියෙන මේ සුෂුම්නාව තියෙන්නේ, පොඩි මොළය නැත්නම් මස්තිෂ්කය කියන තැන දක්වා. ඒ සුෂුම්නාව කෙලින් තියෙන කොට මේ සිහිය අවදිවීමේ ප්‍රවණතාවය හරි වැඩියි කියනවා. හොඳට කොන්ද ඍජුව තියෙන කොට. ඉතින් ඒ ‍වගේ බුදුරජාණන්වහන්සේ ඒකත් දකින්න ඇති.

■ ඉතින් පර්යංකය බැඳගෙන කොන්ද ඍජුව තබාගන්න ඕනේ. සතිං උපට්‌ඨපෙත්‌වා – එහෙම තබාගෙන සිහිය පිහිටුවාගන්න. කොතැන ද සිහිය පිහිටුවාගන්නේ? නාසිකග්ගෙ වා මුඛනිමිත්තෙ – නාසයේ කෙළවර හෝ තොල් දෙක ගාව තමයි සිහිය පිහිටුවා ගන්නේ. ඒක නාසයේ කෙළවර, අයින කියලා එහෙම එකක් ඕනේ නැහැ. තොල අග, තොල කෙළවර, හුස්මපාර වදින තැන, එහෙම ඕනේ නැහැ. මේකෙන් කෙරෙන වැඩේ තේරුම් ගන්න. හිත එක එක තැන් වලට යන්න නො දී, සිතට නතරවෙන්න නවාතැනක් දීමයි මේකේ අරමුණ. දැන් එක එක දේවල් හිතනවා වෙනුවට හිත නාසය දිහා දැනුමෙන්, තොල් දෙක දිහා දැනුමෙන්ම ඉන්න කොට එක එක දේවල් වලට හිතෙන්න ඉඩ නැහැනේ.

මම ඒකේ දී කියන්නේ ස්වාමීන්වහන්සේලාට කාට හරි ඒක අප්‍රකට නම්, තොල් දෙකට ඇඟිල්ල තියන්න. නැත්නම් නාසයට ඇඟිල්ල තියන්න. ඇඟිල්ල තියන කොට තොල් දෙකේ ඇඟිල්ල හැපුණු බව, නාසයේ ඇඟිල්ල හැපුණු බව තේරෙනවා නේ? ඒ තේරෙන තැනට හිත යොමු කරන්න. හිත යොමු කරලා එතැන දැනුම තියාගෙන හෙමින්ම අත අහකට ගන්න. අන්න එතකොට දැන් සති නිමිත්තේ හිත පිහිටුවාගෙන තියෙන්නේ. තොල් දෙකට අත තිබ්බහම මෙහෙම ස්පර්ශ වෙන තැන දැනෙනවා. ඒ දැනුම තියාගෙනම ඇඟිල්ල ගන්නවා. ඔන්න ඔය විදිහට නාසයේ කෙළවර හෝ තොල් දෙකේ හිත පිහිටුවා ගන්න එකට කියනවා සතිං උපට්‌ඨපෙත්‌වා කියලා. ඒවා අටුවාවකවත්, ටීකාවකවත්, ඊට මෙහා ග්‍රන්ථයකවත් නෙවෙයි, පිරිසිදු ත්‍රිපිටකයේමයි තියෙන්නේ. අභිධර්ම පිටකයේ විභඞ්ග ප්‍රකරණයේ ඣානවිභඞ්ගයේ තියනවා ධ්‍යාන ලබාගන්න කෙනෙක් භාවනා කරන කොට කරන හැටි, ඉඳගන්න ඉරියව්ව හා සිහිය පිහිටුවා ගන්න හැටි. ඒ ටික බැලුවහැකියි ස්වාමීන්වහන්සේලාට. අයං සති උපට්‌ඨිතා හොති සුපට්‌ඨිතා නාසිකග්‌ගෙ වා මුඛනිමිත්‌තෙ – මේ සිහිය පිහිටියේ වෙයි, මනාව පිහිටියේ වෙයි තොල් දෙක ළඟ හෝ නාසයේ කෙළවර.

■ එතකොට ඔන්න සති නිමිත්තේ හිත පිහිටුවා ගන්නවා. හිත පිහිටුවා ගෙන සො සතොව අස්සසති සතොව පස්සසති කියන ආකාරයට සිහියෙන්ම ආශ්වාස කරනවා, සිහියෙන්ම ප්‍රශ්වාස කරනවා. ඒ ආශ්වාසය දීර්ඝ වෙන්න පුළුවන්, ප්‍රශ්වාසය දීර්ඝ වෙන්න පුළුවන්, ආශ්වාස ලුහුඬු වෙන්න පුළුවන්, ප්‍රශ්වාසය ලුහුඬු වෙන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාසය දීර්ඝ, ලුහුඬු වෙන්න පුළුවන්. මේකේ දී පෙන්වන්නේ පරිසරය. දීර්ඝයි කියලා හිතන්න හෝ ආශ්වාසය දීර්ඝයි, ප්‍රශ්වාසය දීර්ඝයි කියලා හිතන්න හෝ ආශ්වාස ප්‍රශ්වාසය කෙටියි කියලා හිතන්න හෝ නෙවෙයි. දැන් සති නිමිත්තේ හිත තියාගෙන ඉන්න කොට ආශ්වාසය පිළිබඳ, ප්‍රශ්වාසය පිළිබඳ පූර්ණ දැනුම් සහිතව ඉන්න. ආශ්වාසය දීර්ඝ හෝ වෙන්න පුළුවන්, ප්‍රශ්වාසය දීර්ඝ හෝ වෙන්න පුළුවන්, ආශ්වාස ප්‍රශ්වාසය දීර්ඝ හෝ වෙන්න පුළුවන්.

මේ විදිහට සබ්බකායපටිසංවෙදි සියලු ආශ්වාස ප්‍රශ්වාසයන් අත්විඳිමින් දැනුම් සහිත බවකම ඉන්න. සබ්බකායපටිසංවෙදි කියන එකෙන් කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසයේ දැනුම් රහිත බවක ඉන්න එපා කියන එක. ආශ්වාස ප්‍රශ්වාසයන් අත්විඳිමින් දැනුම් සහගත බවක තියෙන්න ඕනේ කියන එක.මෙතැන දී වඩාත්ම අවශ්‍ය – ආශ්වාස ප්‍රශ්වාසයත් දැනෙනවා, සති නිමිත්තත් තියෙනවා. මේ දෙකම තමන්ට ප්‍රකට වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරම මයි ආනාපාන සති භාවනාව වැඩෙන්නේ. ස්වාමීන්වහන්ස, ආනාපාන සති භාවනාව නො වැඩෙන්න, අටලොස් උපක්ලේශ ධර්මයක් තියෙයි. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව වැඩෙන්නේ නැති වෙන්න වැරදෙන ක්‍රම 18ක් තියෙනවා. ඒකේ දී පටිසම්භිදාමග්ගයේ ආනාපානසතිකථා බැලුවහම ස්වාමීන්වහන්සේලාට ඒක තේරුම් කරගන්න පුළුවන් වෙයි.

එතකොට ඒකෙන් පෙන්නනවා ප්‍රධාන වශයෙන් ‘සති නිමිත්තේ විතරක්’ හිත ති‍යෙනවා තේරෙනවා, නමුත් ‘ආශ්වාසය ප්‍රශ්වාසය කියන දෙක අහුවෙන්නේ නැත්නම්’, තේරෙන්නේ නැත්නම්, ඒත් ආනාපානසතිය වැරදිලා, වැඩෙන්නේ නැහැ. ආශ්වාසය විතරක් අහුවෙනවා, සති නිමිත්ත අහුවෙන්නෙත් නැහැ, ප්‍රශ්වාසය අහුවෙන්නෙත් නැහැ, ඒත් ආනාපානසතිය වැඩෙන්නේ නැහැ. ප්‍රශ්වාසය විතරක් අහුවෙනවා, ආශ්වාසයයි සති නිමිත්තයි අහුවෙන්නෙ නැහැ, ඒත් ආනාපානසතිය වැඩෙන්නේ නැහැ. ආශ්වාසයයි ප්‍රශ්වාසයයි, හුස්ම ඉහළ පහළ යන එක තේරෙනවා හැබැයි සති නිමිත්තේ හිත නැහැ. ඒත් වැඩෙන්නේ නැහැ. එතකොට ප්‍රශ්වාසයයි නිමිත්තයි දෙක තේරෙනවා, ආශ්වාසය තේරෙන්නේ නැහැ. මේ විදිහට මාරුවෙන් මාරුවට, මාරුවෙන් මාරුවට එකක් අතහැරුණොත්, දෙකක් අතහැරුණොත්, මේ මොන විදිහකට හරි අතහැරුණොත් ආනාපානසති භාවනාව වෙන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ. එතකොට සති නිමිත්තේ හිත තබාගෙන සිහියෙන්ම ආශ්වාස ප්‍රශ්වාස කරනවා, සති නිමිත්තත් දන්නවා, ආශ්වාස ප්‍රශ්වාසයත් දන්නවා.

එහෙම කළහම කිසිම වෙලාවක ආශ්වාස වාතය, ප්‍රශ්වාස වාතය එක්ක හිත අරගෙන යන්නේ නැහැ. හුස්ම පාරේ ඉඳන් පෙකනිය දක්වාම ආශ්වාස අනුව බලන්න යන්නේ නැහැ. එතකොට පෙකනියේ ඉඳන් හුස්ම එළියට පිටවෙනකම් ප්‍රශ්වාසය අනුව බලන්නේ නැහැ. ධර්මයේ උපමාවක් පෙන්නනවා. දොරටුපාලයෙක් ඉන්නවා නගරයක. දක්ෂ, ව්‍යක්ත, පණ්ඩිත දොරටුපාලයෙක් දන්න හඳුනන අය ඇතුළු කරනවා, නො දන්නා අය නො ගන්නවා. මේ දොරටුපාලයා කවදාවත් පරීක්ෂණය කරන්න යන්නේ නැහැ – දොරටුව ළඟට පැමිණෙමින් ඉන්න අයව පරීක්ෂා කරන්න යන්නෙත් නැහැ. දොරටුවෙන් ඇතුල්වෙලා නගරය ඇතුළට ගිහිල්ලා ඇතුලේ යන අය පරීක්ෂා කරන්න යන්නෙත් නැහැ. දුවලා දුවලා පස්සෙන් ගිහිල්ලා පරීක්ෂා කරන්නේ නැහැ. නගරයෙන් පිටවෙන අයයි, නගරයට ඇතුලු වෙන අයයි, ඔක්කෝම පරීක්ෂා කරන්නේ ‘දොරටුව ගාව ඉඳලා ම යි’.

ඒ වගේ දොරටුපාලයා දොරටුව ගාව ඉන්නවා වගේ තොල්දෙක ළඟ හෝ නාසය ළඟ සිහිය තබාගෙන ඉන්නවා. ඒ සිහිය හරහාමයි සියලුම ආශ්වාස වාතය දැනගත්තෙත්, ප්‍රශ්වාස වාතය දැනගත්තෙත්. ආශ්වාස ප්‍රශ්වාස වාතය අනුව කිසිම වෙලාවක ගියේ නැහැ, යන්න දුන්නේ නැහැ. හැබැයි මේ නගරයට ඇතුල්වෙන හැම කෙනෙක්ම දොරටුපාලයා හරහාමයි ගියේ. පිටවෙන හැම කෙනෙක්ම දොරටුපාලයා හරහාමයි ගියේ. දොරටුපාලයා ඒ අය පිටිපස්සේ ගියේ නැහැ. ඒ වගේ හැම ආශ්වාසයක්ම, හැම ප්‍රශ්වාසයක්ම මේ සිහිය හරහාමයි ඇතුල් වුණෙත්, පිට වුණෙත්. ඒ විදිහට සිහියෙන්ම ඉන්න. මම මේකෙන් කෙරෙන වැඩ දෙක කියන්නම්. අපි මේවා කළාට මේකෙන් කෙරෙන වැඩ දන්නේ නැහැ ස්වාමීන්වහන්ස. ගොඩාක් දෙනෙක් කමටහන වඩනවා.

අපි තේරුම් ගන්න ඕනේ ස්වාමීන්වහන්ස යමක් කරන්න ඉස්සෙල්ලා ‘කරන දෙය නෙවෙයි’, මේ කරන දෙයින් නිපදවෙන ‘ඵලය’ මොකක්ද කියන එක. ‘කුමන අර්ථයක් සඳහාද’ මේක කරන්නේ කියන එක. අපි බොහෝ විටක කරනවා, අපි කරන්නේ මේ වගේ අර්ථුත්පාදයක් සඳහා නේද කියන එකවත් අපි දන්නේ නැහැ. සති නිමිත්තේ හිත තියාගෙන ආශ්වාස ප්‍රශ්වාසයට සිහියෙන් ඉන්නේ අපි කුමක් නිසා ද? මොකට ද? අපි නිකමට කතා කරනවා හිතේ හිතේ තියෙන කතා කරන ගතිය අතහැරෙනවා, විතර්ක සංසි‍ඳෙනවා කියලා. ඒක කොහොමද අපි හොයාගන්නේ? ස්වාමීන්වහන්ස, මම මතක් කළොත් අපේ අරමුණු වල කොටස් දෙකක් තියෙනවා. ඕකට අද වර්තමාන විද්‍යාවෙන් ඉතින් කතා කරනවා උඩුහිත, යටිහිත කියලා. නමුත් එහෙම හිත් දෙකක් නැහැ.

ඇස්දෙක වහගෙන මෙහෙම බැලුවොත්, ස්වාමීන්වහන්සේලා බලන්න ස්වාමීන් වහන්සේලාගේ මනසේ ගති දෙකක් හම්බවෙයි.
1. එකක් ‘මේ වටපිටාව තියෙනවා කියලා තේරෙනකම’ හම්බවෙනවා,
2. තව එකක් ‘එක එක දේවල් සිහිවෙන බව’ හම්බවෙනවා.
බලන්න නැත්ද කියලා. එක එක අරමුණු සිහි වෙනකමකුත් තියෙයි, වටපිටාවේ මේ හැමදෙයක්ම තියෙනවා, ඉන්නවා කියලා තේරෙනකමකුත් තියෙයි නේද?
1. හරියට සති නිමිත්තේ අපි හිත තිබ්බොත් : ‘වටපිටාවේ මේ දේවල් තියෙනවා කියන කමින් හිත අතහැරිලා’ තියෙන්න ඕනේ.
2. ආශ්වාස ප්‍රශ්වාසය හරියට අහුවුණොත් : ‘එක එක දේවල් හිතනකමින් හිත අතහැරිලා’ තියෙන්න ඕනේ.

ඔය ගති දෙකෙන් හිත මුදවා ගන්නයි ඕක කරන්නේ. දැන් කරලා බලන්න, අත්විඳින්න පුළුවන්. මේ ආනාපානසතියද ඒ මොහොතේම විපාක දෙන, දකින්න පුළුවන් සිද්ධියක්. මේ මහා අවුරුදු ගණන් පල්වෙන ඒවා නෙවෙයි. මනසේ තියෙන ඔය ගති දෙක තමයි අපේ ජීවිතයේ ප්‍රපංච උත්පාදනය කරන මුල් හේතු දෙක. ඔය ගති දෙක මුලින්ම නවත්වනවා මේ ආනාපානසතිය හරියටම කළොත්. හරියටම සති නිමිත්තට හිත තිබ්බොත් – වටපිටාව තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ – මොකද ‘එච්චරට සති නිමිත්තට හිත එකඟ යි’. එක එක දේවල් හිතෙන්නේ නැහැ – ‘ආශ්වාස ප්‍රශ්වාසයේ දැනුම යි’. ස්වාමීන්වහන්ස මතක තබාගන්න හරියටම ‘සති නිමිත්තේ හිත තියාගෙන ආනාපානසතිය වඩනවා කියන කාරණාවේ අර්ථය’ හරියටම ඉපදිලා කියලා ‘තමන්ටම’ දැනගන්න පුළුවන්.

මනසේ තියෙන ඔන්න ඔය කෙලෙස් වලට ඉඩ තියෙන හිල් දෙකක් ඔය තියෙන්නේ. ඒ කවුළු දෙක වහලා ඇති. කමටහනට හරියට හිත තිබූ පමණකින්ම කල්ප ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් යන්නේ නැහැ, හරියටම හිත තිබ්බොත් ඒ මොහොතේම කෙලෙස් ඇතිවෙන්න තියෙන මේ හිල් දෙක දැන් වැහිලා නේද කියලා පෙනෙයි තමන්ට. හරියටම බලලාම කරන්න පුළුවන් එකක්. නාහං භික්ඛවෙ මුට්‌ඨසතිස්‌ස අසම්‌පජානස්‌ස ආනාපානසතිභාවනං වදාමී – “මහණෙනි, සිහි මුළා වූ, නුවණ නැති කෙනාට මම ආනාපානසති භාවනාව කියන්නේ නැහැ” කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ හොඳ සිහියක්, හොඳ නුවණක් තියෙන කෙනෙකුටයි, හොඳ ඕනේකමක් තියෙන කෙනෙකුටයි මේක කරන්න පුළුවන්.

ඉබේ ඇවිල්ලා ‘හිත සමාධි වේවා, නිවන් දකිත්වා’ කියන කමකින් ඔහේ හිත තියාගෙන ඉන්න කෙනාට ආනාපානසති භාවනාව කරන්න බැහැ. හොඳ උවමනාවක්, ඇත්තටම උවමනාව ඒකට කියන්නේ, අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. හොඳ ආදරකමක් තියෙන්න ඕනේ කමටහනට. සති නිමිත්තට හොඳට හිත තියාගත්තා, සති නිමිත්තේ හොඳට හිත තියාගත්තාද කියන එක එයාට හොඳට අත්විඳින්න පුළුවන් – ‘සති නිමිත්ත පිළිබඳ විතරයි දැනුම, වටපිටාව තියෙනවා කියන එක දැනෙන්නේ නැහැ’ එතකොට. මේ ‘වටපිටාව තියෙනවා’ කියලා දැනෙන්නේත් අපේ සිතේ සියුම් විතර්ක වශයෙන් විසිරිලා. සති නිමිත්තේ හරියටම හිත ආරද්ධ වුණහම වටපිටාව තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. ආශ්වාස ප්‍රශ්වාසයේ හොඳට හිත පිහිටියහම එක එක දේවල් හිතෙන්නේ නැහැ. ‘දැනෙන බව’ හා ‘හිතෙන බව’ නතර වෙනවා. හිත බොහෝමත් වේගයෙන් සමාධි වෙයි.

එතකොට මේ ආනාපානසති කමටහන ඔය විදිහට වඩනවා. එහෙම වඩද්දී තවම හුරුපුරුදු නැති නිසා සති නිමිත්තෙනුත් අතහැරවලා, ආශ්වාස ප්‍රශ්වාසයෙනුත් අතහැරවලා, එක එක දේවල් වලට හිත යොමුවෙයි. වෙන වෙන අරමුණු මනසේ උපදියි. නැත්නම් සිත අහකට යයි. ඒ වෙලාවේ දී ඒ ගිය අරමුණු විදර්ශනා කර කර, මෙනෙහි කර කර වත් ඉන්න එපා, ආපහු මතක් කරලා ක්ෂණිකවම ප්‍රතිකර්මය තමයි පරණ විදිහටම “නැහැ, වෙනදා වගේ, මම ඉස්සෙල්ලා වගේ හිත අහකට යන්න දෙන්නේම නැහැ” කියලා චිත්තං පග්ගණ්හාති පදහති – හිත දැඩි කරගන්නවා. හිත දැඩි කරලා. සති නිමිත්තට හිත තියනවා. සති නිමිත්තට හිත තියලා සිහියෙන්ම ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ඒත් ආයෙත් අහකට යනවා, ආයෙත් ගන්නවා. මෙහෙම මෙහෙම ටිකක් කරන්න ඕනේ, එතකොට ටික ටික හිත අහකට යන හුරුව අඩු වෙනවා, සති නිමිත්ත තුළ හිත බැඳී පවතින ක්‍රමය ටික ටික වැඩි වෙනවා.

ඕක තමයි සතිපට්ඨානය.