පංච උපාදානස්කන්ධයේ උදය වැය දේශනාව

අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ විසින් 2017.03. 08 දින භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සිදු කල පංච උපාදානස්කන්ධයේ උදය වැය දේශනාව ඇසුරෙන්

 

ඉස්සර මම කතාවට කියන්නේ බල්ලෙකුට ගලකින් ගහපුවම ඒ බල්ලා ගල හපා කනවලු. සිංහයෙකුට ගලකින් ගැහැව්වහම සිංහයා බලනවලු ගල ආවේ කොහෙන්ද කියල. ඒ වගේ තමයි අශ්‍රැතවත් පෘථග්ජනයාට අරමුණක් උපන්නාම බල්ලට ගලකින් ගැහව්වහම ගල හපා කෑවා වගේ අශ්‍රැතවත් පෘථග්ජනයා ඒ අරමුණ හපා කනවා. අම්මා කියල සිහි වුනොත් අම්මාම තමයි ඒක ඇත්ත වෙනවා. ඉතින් අඬනවා වැලපෙනවා කරුණු හොයනවා, එතන අභිවෘද්ධියට හදනවා. බිරින්දෑ කියල සිහි වුනොත් දරුවා කියල සිහි වුනොත් ඒක ඇත්තම වෙනවා. ඒක අල්ලගත්ත ඊටපස්සේ දරුවා ගැන දරුවට වෙන පාඩු ගැන, ලාභ ගැන, කරන්න ඕනේ යහපත ගැන ඔහොම හිතනවා. රත්තරන් කියල සිහි වුනොත් මෙච්චර වටිනවා කියල බල්ලා ගල හපා කෑවා වගේ අරමුණ හපා කනවා.

සිංහයෙකුට ගලකින් ගහපුවම ගල ආවේ කොහෙන්ද කියල බලනවා වගේ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා, ශ්‍රැතවත් කියල කියන්නේ මේ අරමුණක් කෙරෙහි කෙසේ පිළිපැද්ද යුතුද කියල හොඳට අහලා තියෙනවා, ඒ විදිහට හිතලා තියෙනවා. එයා අරමුණක් ආවහම මේ අරමුණ ආවේ කොහොමද කියල මුලට යනවා. අනුසොතගාමි, පට්සොතගාමි කියල කියන්නේ ඕකට. අරමුණට අනුවම ගහගෙන යන එකට කියනවා අනුසොතගාමි. පටිසෝතගාමි කියන්නේ උඩුගම් බලා යනවා. ගඟක් ගලාගෙන එනකොට ඒ ගලාගෙන එන වතුර පාරට අනුව යන එක අමාරු නැහැ. හැබැයි පස්සේ ලේසි නැහැ. මරණ හෝ මරණ හා සමාන දුකකට පත්වෙනවා. නමුත් පටිසොතගාමි උඩුගම් බලා යන එක ලේසි නැහැ අමාරුයි හැබැයි ගියොත් ගොඩ යන්න පුළුවන්. ඒ වගේ ඕගොල්ලොන්ට අම්මා, තාත්තා, අයියා, අක්කා, දුව, පුතා කියල අරමුණු ආවහම අනුසොතගාමි කියල කියන්නේ ඒ අරමුණ ඇත්ත වෙලා ඒ අරමුණෙ ඇලෙනවා හෝ ගැටෙනවා හෝ බැදෙනවා හෝ ඊට අනුව ගහගෙන යන එකට කියනවා අනුසොතගාමි,

පටිසොතගාමි කියල කියන්නේ අරමුණේ උඩහට යනවා. අරමුණෙ ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැහැ, මේක ඇතිවුනේ කොහොමද කියල උඩහට යනවා. ඔන්න ඔය විදිහට මෙනෙහි කටයුතුයි. ඔය විදිහට මෙනෙහි කරන එකට කියනවා එයා පංච උපාදානස්කන්ධයේ උදය වැය දන්නවා කියල. අම්මා කියල කිව්වොත් ඔන්න පංච උපාදානස්කන්ධය. ඒක ඇතිවුනේ කොහොමද ආහර ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධ ටික බලලා මේ ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසා අනාත්ම සංඥාව අරඹයා මේ විදිහට හිතනකොට මෙන්න මේ ධර්මයෝ උපන්නා. අවිද්‍යාව නිසා තණ්හාවෙන් ඒ අරමුණෙ හැසිරීම නිසා, ඒ අරමුණට නැවත නැවත හිතීම්, කීම්, කිරීම් කල නිසා අවිද්‍යා තණ්හා කර්ම කියන ධර්මතාවයෙන් මේ අම්මා කියන ‘දැනුම’ තමන් තුල උපදිනවා කියල දන්නවා හොඳට.

මේ ඇත්ත හෝ දැක්කොත් අවිද්‍යාව හෝ නැතිවුනොත්, තණ්හාව හෝ නැති වුනොත් ඊට නැඹුරු වෙලා පුද්ගලයෙක් සත්වයෙක් හැටියට හිතන කියන කරන කම හෝ නැතිවුනොත් මේ ධර්මතාවය පවතින්නේ නැහැ කියලත් එයා දන්නවා. මේ පංච උපාදානස්කන්ධයේ උදය වැය බලන්න හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉගෙනගෙන තමන්ට පිහිටක් කරගන්න ඉඳගෙන, හිටගෙන, නිදාගෙන, ඇවිදින ආදී ඉරියව් පවත්වන හැම වෙලාවකම හිතෙන සිහි කරන දේවල් වලට අනුගතව යන්න එපා. ටික ටික හරි මෙනෙහි කරන්න. සන්දිට්ඨිකයි අකාලිකයි ආදී ධර්මයේ ගුණ දැනෙයි අධික රාගය ඇතිවෙන අරමුණක මේ විදිහට උඩහට ගිහිල්ලා බලන්න. අධික ද්වේශය, අමනාපය ඇතිවෙන එක අරමුණක උඩහට ගිහිල්ලා බලන්න. අධික දුක දැනෙන එක අරමුණක උඩට ගිහිල්ලා බලන්න.

නෙළුම් පතක ජලය නොරදන්නා සේ දුක, රාගය, ගැටීම ඉතුරු වෙන්නේ නැහැ. ඊට මෙහා කවදාවත්ම දුක ඇති කරන තණ්හාව නැතිකරනවා කියන ධර්මතාවයක් වෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ තණ්හාව තියෙන්නේ මගේ ළඟ තමයි නමුත් අම්මා ඉන්නවනේ ඒ වුනාට. අම්මා මට මෙහෙම උපකාර කලානේ මට කියල තැනකින් සාධාරණය කරනවා ඒ නිසා කොච්චර කෙරුවත් දුක හිදෙන්නේ නැහැ. උඩුගම් බලා යනකොට අම්මාට ඉඩක් නැහැ, භූමියක් නැහැ. ඒ කිව්වේ ශුන්‍යතාවයක් තියෙන තැනක අම්මාව හදාගෙන අම්මට තණ්හා කරලා. තරහව මගේ ගාව තමයි. හැබැයි තරහකාරයෙක් එහෙ ඉන්නවමනේ.ඒ ඉන්න එකාටනේ මේ මම තරහ කියන තැනකින් තමයි අපි හිතාගෙන ඉන්නේ. නමුත් ශුන්‍යතාවයක් තියෙන තැනක පුද්ගලයෙක්ව හදාගෙන තරහා වෙලා කියනකොට ඒක ලොකු වෙනසක්, අපි ඇලෙන හෝ ගැටෙන පුද්ගලයාව ඉතුරු කරලා නැහැ උඩුගම් බලා යනකොට.

චතුරාර්ය සත්‍යය මේ ශාසනයට විතරයි කියල කියන්නේ ලෝකේ ඔක්කොම කියනවා තරහව හොඳ නැහැ, ලෝභය හොඳ නැහැ කියල දන්නවා. ලෝකේ ඔක්කොම තරහ ගන්න වස්තුව තියද්දීදම, කැමතිවෙන වස්තුව තියද්දීම තියෙන වස්තුවේ තරහ නොගෙන, තියෙන වස්තුවේ කැමති නොවී ඉන්නයි ලෝකයා හදන්නේ. නමුත් මේ කථා කරන දර්ශනය එහෙම එකක් නෙමෙයි. තියෙන වස්තුව ඇලෙන්න හෝ ගැටෙන්න හෝ පුළුවන් එකක් නෙමෙයි. ඒක විපාකය. ධර්මතාවයක්. ඒක ශුන්‍යතාවයක්, අනිමිත්ත බවක්, අප්පනීහිත බවක්. අනිමිත, ශුන්‍යත, අප්පනීහිත කියන්නේ ඒ දර්ශනයෙන් හම්බවෙන ශුන්‍යතාවයට. අනාත්ම වූ සතර මහා ධාතුව නිසා ආන්තම සංඥාවක් එළඹ සිටිනවා ශුන්‍යත සංඥාවක්. සතර මහා ධාතුව නිසා ආන්තම සංඥාවක් එළඹ සිටිනවා අනිමිත්තයි. රාග ද්වේශ මෝහ නිමිති නැහැ. සතර මහා ධාතුව නිසා අනාත්ම සංඥාවක් එළඹ සිටිනවා. අප්පනීහිතයි – ප්‍රර්ථනා කටයුතු කිසිවක් එහි නැහැ.

එබඳු වූ ධර්මතාවයක් තියෙන තැනක අවිද්‍යා ප්‍රත්‍යයෙන් තමයි ඒ අනාත්ම සංඥාව ප්‍රපංච සංඥාවක් බවට පත්කරගන්නේ. අස් ඉදිරිපිටට එන වස්තුව නිසා පහළවෙන ප්‍රකෘතී සංඥාවට කියනවා රූප සංඥාව කියල. මේ පෙනෙන හැඩ සටහනට කියනවා රූප සංඥාව කියල. ඊට පස්සේ ධම්මජෝති හාමුදුරුවෝ කියල හිතුවහම දැනගන්න සංඥාවට කියනවා ප්‍රපංච සංඥාව. එතකොට කෙනෙක්ව දැනගෙන. කෙනෙක්ගේ හැඩය සිහි කරන්න පුළුවන් තැන සංඥාව ප්‍රපංචයි. ඇස් ඉදිරිපිටට සතර මහා ධාතුව නිසා පහළවෙන රූප සංඥාව අනාත්මයි. ප්‍රශ්නේ තියෙන්නේ සංඥා දෙකේ ස්වරූපය සමාන නිසා අනාත්ම සංඥාව එළඹෙන කොට අපි විසින් ප්‍රපංච සංඥාවම සිහි කරගන්නවා නේද කියන කාරණාව දන්නේ නැති එක. ඒකයි මේ වෙලා තියෙන්නේ. මේක සංසර චක්‍රයක්. මේ චක්‍රය අතහැරෙන තැනකුත් තියෙන්න ඕනෙනේ කොතනින් හරි.

මේ පෙනෙන අනාත්ම රූප සංඥාව අරඹයා ධම්මජෝති හාමුදුරුවෝ කියල හිතුවහම, ධම්මජෝති හාමුදුරුවෝ කියල දැනුමක් එනවා. ඒ අරඹයා හිතනකොට කියනකොට ආයේ මේ කය සවිඤ්ඤාණක වෙනවා. සවිඤ්ඤාණක ආයතන වලට ආයෙත් රූප ගැටෙනවා. ආයෙත් අනාත්ම සංඥාව ඇතිවෙනවා. මේක තමයි සංසාර චක්‍රය. මේක අතහැරෙන්නෙම අවිද්‍යාව නැතිවීමෙන් විතරමයි. ධම්මජෝති හාමුදුරුවෝ කියල දැනගන්නකොටම රූප සංඥාව නිරුද්ධ වෙලා ප්‍රපංච සංඥාවයි මනෝ විඤ්ඤාණයේ පිහිටා හිටින්නේ කියන එක දැනගත්ත දවසටයි මේ ප්‍රපංච සංඥාව පරිහරණය කරන එක නතර වෙන්නේ. ඒ කියන්නේ හිතේ හිතේ කෙනෙක් ගැන සිහි කරන්න තියෙන ඉඩ නැහැ. ඇස් ඉදිරිපිටට ආව වස්තුව නිසා පහල වුනේ අනාත්ම සංඥාවක් නමුත් මම දැන් සිහි කරන්නේ ආත්ම සංඥාවක්, කෙනෙක්ව සිහි කරන්නෙ කියන නුවණ තියෙයි.

ඒ නිසා යම් දවසක තණ්හාව නැතිවුනොත් නැතිවෙන්නෙම තන්හාවට හේතුවෙන අවිද්‍යා වැස්ම නැතිවුනොත් විතරයි. ඒකයි ‘අවිජ්ජානීවරණානං තණ්හාසංයොජනානං’ අවිද්‍යාව නැමති නීවරණ ධර්මයෙන් වැහිලයි තණ්හා නැමති සංයෝජනයෙන් බැඳිලා තියෙන්නේ. අවිද්‍යා නැමති වැස්ම දුරුනොකොට තණ්හාව හිදෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ තණ්හාවට සාධාරණීකරණයක් තියෙනවා අවිද්‍යා වැස්ම තුල. තණ්හාව අපේ හිතේ වුනාට තණ්හා කරන වස්තුව ඇත්තටම බාහිර තියෙනවනේ කියල හිතනවා. එතකොට තණ්හාවට ඉඩක් තියෙයි. නමුත් තණ්හාව යෙදෙන්නේ තමන් විසින් හදාගත්ත මනෝමය ධර්මතාවයක් තුලයි. මේක අවිද්‍යාවේ ප්‍රශ්නයක් කියල තේරුණ දවසටයි අවිද්‍යාව ගැන කලකිරෙන්නේ. ඔන්න ඔය කාරණාව තේරුම් අරගෙන හැමවෙලාවෙම පටිසොතගාමි වෙන්න උත්සාහවත් වෙන්න.

ඒ කියන්නේ උපදින උපදින අරමුණු නුවනින් මෙනෙහි කරන්න ඕනේ. ඒකට යම් කෙනෙක් රෑ දහවල් දෙකේ හොඳ උත්සාහයක් යොදයි නම් හරි ඉක්මනට මේකේ ප්‍රතිඵලත් තියෙයි. කොච්චර වුනත් මේක කරන්න කරන්න තමන්ට තේරෙනවා මේ තණ්හාව දියවේවි දියවේවි යනවා. ඔන්න ඔය ටික තේරුම් ගත්තට පස්සේ අවශ්‍යමයි උපකාරක ධර්මතා. භෝජනයේ පමණ දැනගැනීම, ඉන්ද්‍රීය සංවරය, නිදි දුරුකිරීම කියන ධර්මතා තුන අවශ්‍යමයි. භෝජනයේ පමණ දැනගැනීම කියන්නේ ආහාරපාන ගන්නකොට තණ්හාවෙන් තොරව ආහාරයේ පමණ දැන ගන්න එක. ඉන්ද්‍රීය සංවරය කියන්නේ හිතාමතාම ආයතන ටික සංවර කරගන්නවා . ඇහැ, කන, දිව, නාසය,කය දෙකට බෙදාගන්නවා. සේවනය කටයතු හා නොකටයුතු කියල. යම් අරමුණක් බලනකොට ලෝභ ද්වේශ මෝහ ළාමක අකුසල ධර්මයෝ උපදී නම් එබඳු රූප බලන එක හිතාමතාම නවතනවා.

යම් රූපයක් බලනකොට අලෝභ, අද්වේශ, අමෝහ කියන කුසල ධර්මයෝ උපදී නම් නැත්තම් මේ යෝනිසෝ මනසිකාරයට උපකාරයි නම් එබඳු විදිහට ඇහැ පරිහරණය කරනවා. යම් ධර්මයක් අහනකොට ළාමක අකුසල ධර්මයෝ උපදී නම් එබඳු දේ අහන එක නතර කරනවා. යම් ධර්මයක් අහන කොට නුපන් ආස්‍රව නුපදී නම් උපන් ආස්‍රව ගෙවෙයි නම් එබඳු දේ අහනවා. ඒ විදිහට ආයතන ටික දෙකට බෙදාගන්න එකට තමයි ඉන්ද්‍රීය සංවරය කියල කියන්නේ. නිදි දුරුකිරීම කියල කියන්නේ රාත්‍රිය බෙදනවා යාම තුනකට. ප්‍රථම යාමය, මධ්‍යම යාමය, පශ්චිම යාමය කියල. හවස හයේ ඉදන් රෑ දහය වෙනකන් ප්‍රථම යාමය, රෑ දහයේ ඉදන් පාන්දර දෙක වෙනකන් මධ්‍යම යාමය. පාන්දර දෙකේ ඉදන් උදේ හය වෙනකන් පශ්චිම යාමය.

පෙරයම ඉඳගනිමින්ද සක්මනින්ද නීවරණ ධර්මයන් දුරු කරන්න වීර්ය කරනවා. පංච උපාදානස්කන්ධ ලෝකේ කියල කියන්නේ තමන්ගේ වැරදි දැකීම නිසා තමන් තුල අම්මා, තාත්තා, දුව, පුතා, අයියා, අක්කා කියල පුද්ගලභාවයෙන් යුක්ත ලෝකයක් හැදිලා තියෙනවනේ ඒ පංච උපාදානස්කන්ධ ලෝකයේ ලෝභය දුරු කරලා ලෝභ රහිත සිතින් ව්‍යපාදය දුරු කරලා ව්‍යාපාද රහිත සිතින් වාසය කරනවා. ඇහැ, කන, දිව, නාසය, ශරීරය ආදී ආයතන ටිකට හැමවෙලාවෙම ආවේ අනාත්ම වූ ශුන්‍යතාවයෙන් යුක්ත සංඥා මට්ටමක්. ඒ අනාත්ම සංඥාව අරඹයා අපි විසින් සත්ව පුද්ගල ආත්මභාවයෙන් වටිනා නොවටිනා ආකාරයෙන් අපි හිතලා වටිනා නොවටිනා දේවල් හා සත්ව පුද්ගලයෝ හදාගත්ත මනෝමය අත්දැකීම් තියෙන වටපිටාවටයි පංච උපාදානස්කන්ධ ලෝකය කියල කියන්නේ.

ඒ කියන්නේ ඕගොල්ලොන්ට සිහි කරන්න පුළුවන් අම්මා, තාත්තා, අයියා, අක්කා, ගෙවල් දොරවල් යානවාහන ඉඩකඩම් මිල මුදල් ආදී ‘සබ්බෙ සංඛාරා’ සියළු සංඛාරයෝ අයිති පංච උපාදානස්කන්ධ ලෝකයට. මෙන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකේ අභිජ්ජාව (දැඩිලෝභය) දුරු කොට ලෝභ රහිත සිතින් වාසය කරනවා ඉඳගනිමින් හා සක්මනින්. ඒ කියන්නේ ඇලෙන්න සුදුසු අරමුණක් එනකොට ඒ අරමුණෙ ඇලෙන්නේ නැතුව මේ දැනුම මට ආවේ කොහෙන්ද කියන එක විමසමින් ඉඳගනිමින් හෝ සක්මනින් කල් ගත කරනවා. ගැටෙන්න සුදුසු අරමුණක් ඇතිවෙනකොට මේ අරමුණ ඇතිවුනේ කොහොමද කියල අරමුණෙ මුලට යමින් ගැටෙන අරමුණෙ ගැටෙන්නේ නැතුව ඒ අරමුණ නුවනින් විමසමින් අනාත්ම ධර්මතාවය හොඳට පෙන්වලා අනාත්ම ධර්මතාවය මත තමන්ගේ වැරදි හැසිරීම නිසා මේ ස්වභාවය උපන්න බව හොඳට දක්වමින් ඉඳගනිමින් හා සක්මනින් කල් ගෙවනවා.

තමන්ගේ හිතේ කයේ නිදිබර ගතියක් තියේ නම් චෛතසික වීර්ය ඇතිවෙන්න මෙනෙහි කරමින්, නිදිමත නම් මුණ හෝදලා, සක්මන් කරලා කායික වීරිය ඇතිකරගන්නවා. හිත විසිරෙනවා කියල තේරෙනකම දැක්කහම හිත විසිරෙනකම දුරු කරන්න හොඳට සති නිමිත්තේ ආරද්ධ වෙලා හිත විසිරුනකම දුරු කරන්න උත්සාහවත් වෙනවා. කෙසේද කෙසේද කියන විමති නැතුව මේ ධර්මය සම්මර්ශනය කරනකොට මම අතීතයේ හිටියද, හිටියා නම් කොහෙ ඉන්න ඇත්ද ආදී ඔය විදිහට විතර්ක එනකොට ක්ෂණිකව එහෙනම් අතීතයේ වෙලා තියෙන්නෙත් මේ සිද්ධියම නේද කියල බලලා අතීතය අනුව යන්නෙත් නැහැ, අනාගතේ අනුව යන්නෙත් නැහැ. එහෙම විචිකිච්ඡා විතර්කයක් ආවොත් අරමුණෙ මුලට ගිහිල්ල පෙන්වනවා. කාමඡන්දය, ව්‍යපාදය, ථීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ ආවරනීය ධර්මතා පහ තමා සන්තකයේ ඇති බව හදුනාගෙන ඒ ඒ නීවරණ ධර්ම නැති කරන්න වීර්ය කරනවා.